WOMAN as a subject not an object



http://womansstage.blogspot.com/2019/10/blog-post.html

https://pitasthariya.blogspot.com/2019/10/blog-post.html?spref=fb&fbclid=IwAR2cpUmOSz1giWb0qb6TG6TaKPwmd5pOxydXys-QupO8A0C0xCsnbA87j04



ග්‍රීත්, උඹ නම් යකඩ කෙල්ලක් බං...

'ප්‍රත්‍යක්ෂයේ ලෝකය' එහෙම නැත්නම් 'සංජානනයේ ලෝකය' (The World of Perception) නම් ඔහුගේ කුඩා පොත් පිංචේ ප්‍රංශ ප්‍රපංචවේදියෙක් වුන මොරිස් මර්ලෝ පොන්ටි මෙසේ පවසනවා. 'චිත්‍ර ශිල්පියෙක්, විශේෂයෙන් පුනරුදයෙන් පසු කලා ශිල්පියෙක්, තමන්ගේ කෘතිය දෙස කිසිවෙකු බලා සිටිනු ඇතැයි සිතා නිර්මාණ නොකළ යුතුය'. ඒ කියන්නේ බලන්නාගේ දැක්ම (gaze of the viewer) ගැන ඔහු හෝ ඇය නිර්මාණයක නිෂ්පාදකයා ලෙස වද වෙන්න ඕනි නැහැ කියන එක. පුනරුද ලෝකයට කලින් කලා නිර්මාණ වෙත පතිත වූ 'ආගමේ දැක්ම' නම් මර්ධිතය නිසයි පොන්ටි මෙහෙම කියන්නේ. ඒ කියන්නේ ඔහු නිශ්චිත ලෙස කලාකරුවා නිදහස් කරනවා බාහිර දැක්මේ බලපෑමින්. විශේෂයෙන් ආගමෙන්.
ඉතිං ආගමේ දැක්මෙන් කෘතිය නිදහස් කරන මර්ලෝ පොන්ටි මෙහෙම කියනවා. බලන්නා මොකක් හිතුවත් කලා කෘතිය (විශේෂයෙන් චිත්‍රය) අනන්තය නම් ක්‍ෂිතිජය දෙස බලා සිටිය යුතුයි කියල. එහෙම කළාම කෘතියේ වස්තුව දකින්නාගේ දැක්මෙන් නිදහස් වනු ඇත කියල.
නමුත් මම හිතන්නේ දකින්නාගේ දැක්මෙන් නිදහස් වෙන්න ගිහිල්ලා අනන්තය දෙසම බලා සිටින (gaze fixed at infinity) කෘතියේ වස්තුව නැවත 'තමා දෙස බලා නොසිටින' (එහෙත් බලා සිටින) බලා සිටින්නාගේ දැක්මේ සිරගත වෙනවා කියල. මේ බලා නොසිටින්නා නැවතත් දේවත්වයට පත් වෙනවා. අර පොන්ටි විසින් ගලවා ගන්න හදපු නිර්මාණකරු නැවතත් 'බලා නොසිටින දෙවියන්' ගේ දැක්මේ සිරගත වෙනවා. ඒ කියන්නේ බලා නොසිටින බව ම නැවත බලා සිටීමක් බවට පත් වෙනවා. මේක තමයි සමකාලින මනෝ විශ්ලේෂණයේ ප්‍රශ්නය බවට පත් වෙන්නේ.
කවුරුත් අප දිහා බලන්නේ නැත්නම් අපි මාර අර්බුදයකට යනවා. එහෙම අර්බුදයට යන්නේ නැත්තේ ගොඩක් ශක්තිමත් කෙනෙක් විතරයි. අපේ දැක්ම ක්ෂිතියට පත් කරපු ඕනෑම චිත්‍ර ශිල්පියෙක් හොඳින්ම දැනගෙන හිටියා අපි ඒ දෙස (කෘතිය දෙස) බලනවා කියල. පොන්ටි ගේ ම වචනයෙන් කිව්වොත් ඒ අය දැනගෙන හිටියා අපේ ඇස් වලින් කඳුළු විතරක් නෙවෙයි ලේ පවා වහනය වෙනවා කියල.
ඒ අර්ථයෙන් කෘතියේ සිටින වස්තුව තව දුරටත් වස්තුවකින් ඔබ්බට ගිහිල්ලා අපේ චින්තනයේ (සිතීමේ) ව්‍යාකරණය වෙත බලපෑම් කරන කෙනෙක් බවට පත් වෙනවා. පොන්ටි මේක චිත්‍රයට විතරක් නෙවෙයි චිත්‍රපටයට වුනත් අදාල කරනවා. ඒ නිසා තමයි ලංකාවේ අර්ථයෙන් අපිට හඳගම ගේ කෘතිවල හිටපු ස්ත්‍රී වස්තුවෙන් කිසිදාක ගැලවෙන්න බැරි වුනේ. ඒ කියන්නේ අපේ දැක්මෙන් එම කෘතියේ වස්තුව නිදහස් ද නැද්ද කියන එකට වඩා අධිනිශ්චිත ප්‍රශ්නය වුනේ කෘතියේ වස්තුවෙන් අපට ගැලවෙන්න බැරි වීම. මේකට අදාල ලංකාවේ උදාහරණ ගොඩක් තිබුණත් හොඳම ගෝලීය උදාහරණය වෙන්නේ ඩා වින්සි ගේ මොනාලිසා.
මිට වඩා සජීව උදාහරණයක් වෙත ගියොත් අපිට හම්බ වෙන්නේ යොහෑනස් වමියර් ගේ මුතු කරාඹුව පැළඳි යුවතිය (Girl with a Pearl Earring) නම් කලා කෘතියේ අවකාශය ඇතුලේ ඉන්න වස්තුව වුන ග්‍රීත් (ප්‍රංශ උච්චාරණය). ග්‍රීත් ගේ ඒ බැල්මෙන් නම් ගැලවෙන්න කාටවත් ම බැරි වුණා. අන්තිමට ඒ බැල්මෙන් ගැලවෙන්න කෘතියේ අද්විතීය නිර්මාණකරු වෙච්ච වමියර්ටත් බැරි වුණා. ග්‍රීත්ටත් වමියර් ගේ අඳුරු පිරිමි ලෝකයේ බැල්මෙන් නිදහස් වෙන්න බැරි උණා. වමියර් ජීවත් උනෙත් කට්ට අදුරු කාමරයක. මේ දවස්වල චිත්‍ර අඳින දෙන්නෙක් පොඩි රණ්ඩුවක ඉන්න නිසා මට ඔවුන්ගෙන් මෙහෙම අහන්න හිතුණා. ඔයාල වමියර් ගේ තැන හිටියා නම් ඔයාල ග්‍රීත් ගේ තනි කණක් විදින වේදනාව - අඳුරු කාමරය - ඇයට හිමි නැති කරාඹුව - ඇයගේ ශරීරය උත්කෘෂ්ට කෘතියක් වෙත පූජා කිරීම නම් ස්ත්‍රියක් විදියට කරන කැපකිරීම - සහ ඇය ඔහුගේ ආශා වස්තුව වීම - යන දේවල් ඇතුලේ ඇයව විනිවිදිනවද නැත්නම් විනිවිදීම කැපකරලා ඇයව එතැනින් යවනවාද?
ඒත් නැත්නම් ඇයගේ ශරීරය විනිවිදීම හරහා ම ඒ ශුන්‍ය බව අත් විඳිනවාද? ඒ ශුන්‍ය බවේ අත්දැකීම ඔස්සේ නැවත තමන්ගේ කෘතිය පෝෂණය කරනවද? ඒ ක්ෂිතිය ඔස්සේ ම තමාගේ කෘතිය විශ්වීය කෘතියක් කරනවාද? මට නම් එක එල්ලේ උත්තරයක් දෙන්න බැහැ මේ ගැටළුවට. මම හිතන්නේ පෙරදිග සහ අපරදිග ආශාව විනි විදීම ගැන පරස්පර බවක් මෙතන එනවා කියන එක. Girl with a Pear Earring (2003) නම් චිත්‍රපටයේ වමියර් ඇයගේ දැක්ම තුලට ඇඳ වැටෙනවා. වැටිලා ඒ ඇතිවන උද්දීපනය ඔස්සේ අතිවිශිෂ්ට කෘතියක් ලෝකයට ප්‍රධානය කරනවා. ඒ සඳහා ඇය තමන්ගේ ආත්මය ඔහු වෙත කැප කරනවා. කෘතිය තරම්ම ඒ නිසා ඇය උත්කෘෂ්ට වස්තුවක් වෙනවා. එහෙම වෙන්නේ ඇය ඇත්ත ගැහැණු පිරිමි පරස්පර බව ඇතුලේ ඇති ආතතිය මඟ හැරලා දුවන්නේ නැති නිසා. ඒ ආතතිය ඇතුලේ ඇය වෙන දෙයක් උනාවේ කියල වමියර් ගේ ඇස ඉස්සරහා හිට ගන්න නිසා. එහෙම ඒ පරස්පර බව මඟ හැරියේ නැති ගැහැණු තමයි ඔය මැරිලින් මොන්රෝ වගේ අය. ඕනි මඟුලක් වෙයන් කියල පුරුෂ ලෝකයේ පරස්පරය ම තරණය කරපු ප්‍රවර්ගය (category) හැටියට මම ඔවුන් නම් කරනවා.
තමන්ට තහනම් වෙච්ච ඒ මුතු කරාඹුව පැළඳ ගෙන ඇය මුළු පුරුෂ ලෝකයක් ඉස්සරහා හිටගත්තා. තමන්ගේ ස්වාමියා වෙච්ච ඔහුගේ දැක්මට ඇය බිය උනේ නැහැ. අනික් ගැහැණුන් ගේ අහංකාර මාන්නය ඉස්සරහා උඹ දෙකට නැමුණේ නැහැ. උඹේ මුළු ලෝකෙම ඒ දැක්ම බවට පත්වුණා. කෘතියේ වස්තුව බවට පත්වුණා. ඉටි පන්දම අරගෙන උඹ රෑ රාත්‍රියේ තට්ට තනියම ඒ කලා කෘතියේ දැක්ම හඹා ගෙන ම ගියා. අඩියක් පස්සට යන්නේ නැතුව තව තවත් ඔහුගේ දැක්ම ඇතුලට ම ගියා. නිර්මාණකරු අසරණ වෙන කල් ම උඹ උගේ ඇස් ලොඩි දෙක විතරක් නෙවෙයි මොළ කුහරය අස්සටම ගියා. අනිකා ඇතුලේ තමන් නොපෙනී යන තරම් ම ඇතුළට ගියා. කවදාහරි උත්කෘෂ්ට වෙන්නේ මම නෙවෙයි මේ පුරුෂ කෘතිය කියන එක දැන දැනත් තමන් ඒ තුලම වැළලී ගියා. රැඩිකල් කියන්නේ ඒකට බං. අනිකාගේ අවුල දැකල ඔක්කොම දමා ගහල දුවන එකට නෙවෙයි.
ග්‍රීත්, ඒ අතින් ගත්තම උඹ පුදුම ශක්තිමත් ගැහැණියක්.
(ස්ත්‍රී වාදයට එරෙහි විවේචනයකි)

Mahesh Hapugoda


Comments