Red apple, three apple, KAVI apple in room number 33
ප්‍රංශ කිවිවර ජෝන් කෝටේස් පවසන ආකාරයට “කවියා යනු බොරුකාරයෙකි නමුදු සෑම විටෙකම ඇත්ත පවසන” මේ අමුර්තරූපී උපුටනයත් සමග අපි 33 කුටියට එබී බලමු.
අනුසරගේ මේ කාව්‍ය සංග්‍රහය වසර ගණනාවක් පුරා පැවති හෙල බුද්ධිවාදී හිඩැස පිරවීම සඳහා පහළ වූ අපූර්ව වූ නිර්මාණ සංග්‍රහයකි. කවිය යනු හුදු වචන හරඹයක් නොව ඊට වැඩියෙන් භාවාත්මක වූද සවිඥානික වූද ඉතා වෙහෙසකර සාහිත්‍ය ප්රවර්ගයක් බව පෙන්වා දිය යුතුමය. කවිය යනු අද සමාන්‍ය දෙයක් බවට අපේ පරපුරේ පත්ව ඇති අතර එය වරදක් යැයි කීමටද මා උත්සාහ දරන්නේ නැත. නමුදු කවිය දියාරු වී හුදු වචන කිහිපයක සැරසිල්ලක් බවට පත්ව ඇත. මුහුණු පොතේ දවසින් දවස කවි මතුවීම හොඳ ප්රවණතාවයකි නමුදු කවියට සිදුවී ඇති අභාග්‍ය සම්පන්න වාතාවරණය එතරම් හොඳ නැත. අනුසරට පහල වීමට සිදුව ඇත්තේ මෙකී මුහුණු නැති පර්සෝනීය කවි සැරි සරන මුහුණු පොත් යුගයකටය. ඉතින් අපි පර්සෝනාව ගලවා 33 කුටියට ඇතුලුවෙමු.
රතු ඇපල් පිපුණු මේ කාමරයේ ඇපල් ඵල 3කි එකක් ඒවාගේ ය, අනෙක නිව්ටන් ගේය, අනෙක ජොබ්ස් ගේ ය. කිතුණු දහමත් විද්‍යාවත්, ධනවාදයත් අතර සැරිසරන මේ ඇපල් කතාව පිළිබඳව අනුසර අලංකාරී ප්‍රබන්ධයක් ගොඩ නංවන්නේ ඇඟට පතට නොදැනෙනටය. කතාව බරපතලය නමුදු සුමටය. මේ ඇපල් කතාව මුලු කාව්‍ය සංග්‍රහය පුරාම එකින් එකට එකින් එකට පැටැලුණු නූල් බෝලයක් සේ දිග ඇදේ.
33 කාමරය කියූ පමණින් මගේ මතකයට නැගුනේ චෙකොෆ් ගේ හයේ වාට්ටුවය. චෙකොෆීය කතා ව්‍යුහය තුළ උත්සාහ දැරුවේ සමකාලීන දේශපාලනය නිරූපණයටය. අනුසර ඉන් මදක් බැහැරව දේශපාලනයෙන් හැරී ධනවාදය, ආගම ආදී වූ විවිධ දුර්ගමං ඔස්සේ සිය කවිය විහිදුවා දැක්වීමට උත්සාහ දරයි. මේ 33 කාමරය හයේ වාට්ටුවට වැඩියෙන් බරපතල බුද්ධි කලම්බනමය කියවීමේ ශ්‍රමයක් ඉල්ලා සිටී. දුර්ගන්ධයෙන් ඔජස් ගලනා මේ සමාජ රෝග කාමරය හෙවත් තත්කාලීන සමාජය තුළට අපි කවියක් තුළින් පා නගමු.
“Le ශරීරය නුඹේ… La ආත්මය මගේ” උක්ත කවිය සම්බන්ධයෙන් ගත් කළ කතා බහට ලක් කරනුයේ මේ කාලය තුළ වැඩි වැඩියෙන කතා බහට ලක්කෙරෙන සමරිසි අයිතීන් සම්බන්ධයෙන් උද්ගතව ඇති දරුණු නිරුත්තර වාතාවරණය පිළිබඳවයි. මේ කවිය තුළ අනුසර නම් මේ කවියා සහෘද චිත්ත සන්තාපයට ගල් ගසන්නේ කුරිරු අයුරිනි. ගලවා ගත නොහැකි ස්ත්‍රී ආත්මයක පීඩාවකින් පෙලෙන සිය මිත්‍රවරයාගේ නික්මයාම ඔහු අකුරුමත දිය කරයි.
“නෑ.. නැ.. අමතක කරපං ඒ ඔක්කොම.
අන්න බලාපං les බොහිමියන් සඳ කිදුරන්ගෙ වික්‍රම….
මං හංගපු උඹේ කඳුළට කැපුණු ලිහිණි හිස් කබල් උඩ….” (16 පිට)
ඔහු තුළ කෙදිනක හෝ දිනක ඔවුන්ට එක් වීමට ලොවක් මැවෙන බවට සියුම් ඉඟියක් තබා ඔහු කවියෙන් පලායයි.
“විජේ වීර සහ මියැදුණු මිනිසාගේ එළිවැටක් නැති එපික එක” යැයි නම් දැරූ කවිය ගත් කල ශ්‍රී ලාංකික දේශපාලනයේ වාම වාදයේ නොමියෙන මිනිසාගේ වෘතාන්තය හා දෙවියන් වහන්සේගේ පුත්‍රයා හෙවත් නාසරත් හි ජේසූගේ වෘතාන්තය සංයුක්ත කරමින් ආඛ්‍යාන වර්ගයේ කාව්‍යයකට මුසු කිරීමට තරම බැරෑරුම් කර්තව්‍යයකට මේ කවියා උත්සාහ දැරීමම අගය කළ යුත්තකි. ඒ මේ අතර සිදුවන්නා වූ දේශපාලනික අරගල හා විවිධ සමාජමය ගැටළු තුළ කතා බහට ලක්කිරීමේදී මේ වෘතාන්ත දෙකෙහි ඒකමිතිය සිතා ගත නොහැකි එනිග්මාමය අඩවියකට කවියා අප ගෙනයයි. පිටුවෙන් පිටුව පෙරලා අපට රිසි අයුරකින් ගොඩ නගා ගත හැකි වෘතාන්තයන් කිහිපයකි. කවියාම පවසන පරිදි එක්කෝ පොත ඉරා වීසි කළ යුතුය නැතිනම් මේ නගරයෙන් පලා යා යුතුය.
ආගම සහ සංස්කෘතික වූ කලී ධනවාදයට වහල් කම් කරන පුහු සදාචාරවාදී සංස්ථාවන් බව සැබෑය කවියා ගේ මේ අසීමාන්තික පොර බැදීම තුළ ස්ත්‍රිය යටපත් කිරීමට ගන්නා වූ පුරුෂ මූලික උත්සාහයන් සිය කවි තුළ ඔහු මොනවට පෙන්වා දෙයි. මුස්ලිම් කතකගේ දික්කසාදය තුළ ඇය ආගමට අනුව විඳිය යුතු දුක් ගැහැට ආදරණීය නොස්ටැල්ජියා කවිය තුළ කුරාණීය උපුටන මගින් සනාත කරමින් පෙන්වාදේ. මේ කවි තුළ විටෙක පවුන්ඩ්ගේ සංයුක්ත කවියක ලක්ෂණ ද විහිදුවා දක්වන අතර මේ කවිය අවසානයේ දැක ගත හැක්කේ කැලිග්රැෆික සිතුවමකි. රෂ්ඩිගේ යක්ශයාගේ කවි පොතේ උපුටනයකින් කවියා මේ ආගමේ පුහු සදාචාරය මොනවට සනාත කරනු ලබයි.
“මුල සිට ම මිනිසුන් දෙවියන් යොදාගත්තේ අසාධාරණ සියල්ල සාධාරණීකරණය කිරීමටය”
වික්ටෝරියානු බවුද්ද සදාචාරය තුළ පවා දැකිය හැක්කේ මෙය මිසෙක අන් කිසිවක් නොවේ. ඉතින් මෙය වමට ද එසේමය මේවා එකිනෙකින් වෙන් කළ නොහැකි ව්‍යාකූලත්වයේ ප්‍රතිමූර්තීන් බඳුය.
මෙවැනි ව්‍යාකූලතාවෙන් හෙබි කවි බිහිවන අවදියක අනුසර යනු අරාජිකත්වය කරා කවිය ගෙන යනු ලබන V කෙනෙකු වැනිය. එසේනම් මම ආරම්භයේ දැක්වූ උපුටනය හා යා වෙන රතු ඇපල් කවි පොතේ එන අවසාන ප්ලේටෝනීය උපුටනයෙන්ම මේ ලියමන අවසන් කරමි.
“කවියෝ බොහෝම ශ්‍රෙෂ්ඨ සහ නුවණක්කාර දේවල් කියනවා. නමුත් ඒ අයටවත් ඒවා තේරුම් ගන්න බැහැ”.
අනුසර නම් මිත්රවරය 33 කුටියෙන් මිදී මේ නගරයෙන් පලා යාමට කවරෙක්ට හැක්කේ ද?
ගිහාන් සචින්ත
Comments
Post a Comment