Blood Wisdom of teen girl - ජම්බු ගහෙන් වැටුනාම
දෙවියනි ඔබ සිටිනවාද? මම මාගරට්
කතෘ-ජූඩ් බ්ලූම්
පරිවර්තනය- සුජීවා නිරංජනී රත්නායක
“ මා සවැනි ශ්‍රේණියේදී බොහෝ දුරට "Are You there god? Its me Margaret" හි මාගරට් මෙන් වීමි . අයියෝ ඒ කියන්නේ ඔබ මගේ රහස් කිහිපයක් දන්නා බවයි. එහෙත් මාගරට් ගේ පවුල මගේ පවුලට වඩා බෙහෙවින් වෙනස්ය.
-ජූඩ් බ්ලූම්
කලාතුරකින් දවසක හදිසියේ පැන නගින උද්‍යෝගයක් මත විනා පූර්ව සූදානමකින් යුක්තව බර සාර ලෙස යමක් ලිවීමට මම මුළුමනින්ම අපොහොසත්මි. මම කිවිඳියක නොවෙමි. නවකතාකාරියක ද නොවෙමි(සමහරුන් මා අරභයා එසේ හැඳින්වීම ගැන සියුම් අමනාපයක් හා මවිතයක් මා සතුය.). මේ දෙවැදෑරුම් මාධ්‍ය භාවිතාවේම මා අත්හදා බැලීම් කර ඇති බව ඇත්තය. ඒත් ඒ ක්ෂණයෙහිදී මට ලියන්නට හැකි වූයේ ක්ෂණිකව පැන ආ උද්යෝගයක් මත එවක මා තුල සැඟවුනු මා අවදි වීමෙන් මිස, භාවිත මාධ්‍යය දීර්ඝ කාලීනව විශ්ලේශනය කර මහාචාර්ය ඔළුවකින් ඊට පූර්වව සූදානම් වූ නිසා නොවේ. එබැවින් පත්තරකාරයන් ඉදිරියේ මම සැබැවින්ම අසරණ වූයෙමි. ඔබ.............කියවා තිබේද? අනේ නැත. ඔබට...................ගැන ලියන්න පුළුවන්ද?................දෙවියනි මට බැරිය. මට මගෙන් තොර අන් දෙයක් ගැන කිසිදාක අවංකව පෙනී සිටිය නොහැකිය.
මම කිසිසේත්ම ලේඛිකාවක හෝ විචාරිකාවක නොවෙමි. ඒ පිලිබඳ සිහිනයක් වත් නැත. මගේ ජීවිතය මා විසින්ම බෙදා ගත් සෘතූන් දෙකකින් සමන්විතය. එනම් ප්‍රබෝධ සෘතුව සහ නිද්‍රා සෘතුව වශයෙනි. සමාජ නිශ්චිත කඩයිම් අවස්ථාවන් හා යම් ප්‍රබල ආත්මීය රිදවීමකදී හට ගත් තිර අධිෂ්ඨානයන් මත මවිසින් නිර්මාණය කරගත් ඉලක්ක හා අරමුණු හඹා ගොස් ජයග්‍රහණයෙන් උදම් වීමත්, අවසානයේ එහි සතුට හා ජවය සිඳී ගිය විට හිමිවන ඕලාරික ශෝකය විඳීමත් මින් පළමු වැන්නට අයත්ය. ඉනික්බිති මා කැමති වන්නේ මගේ පුංචි කාමරයට වී අසීමාන්තිකව නිදා වැටෙන්නට හෝ දොඩමළු නගරය පුරා ඉබා ගාතයේ ඇවිද යාමටත්, ආදරයෙන් වැළඳ ගත හැකි උණුසුම් අතක එල්ලී මග දෙපස විසල් තුරු ලතා ගැවසුණු අඳුරු වීදියක සවස් යාමයක ඇවිද යාමටත්, දොඩමලුවෙන් තොරව නිහඬව බලාසිටීමත් යන කාරණාවලටය. නමුත් නිර්මාණයකින් පසුව එළැඹෙන නිද්‍රා සෘතුව ඇතැම් විට මීටත් වඩා ගොළුය. කිසිදු ගසක් හෝ මලක් නොමැති හිම වැතිරුනු සීතල පොළොවක් පරිදි නිසලය. ඉලක්ක හෝ විශේෂ උණූසුම් බලාපොරොත්තුවලින් සම්පූර්ණයෙන් විනිර්මුක්තය. දැන් ඉතින් යමක් ලිවීමට නම් එක්කෝ මට සුවිශේෂී අකරතැබ්බයක් සිදුවිය යුතුය. නැතිනම් සුන්දර යමක් හදිසියේ හමුවිය යුතුය. එය මගේ ආත්මය හා බද්ධ වී මා වළලා දමන්නට යෙදුණු හෝ ඉබේ සැඟවී ගිය යමක් පෙරළා සිහිපත් කරන්නේ නම්... ඉදින්.. මම ලියමි.
දැන් කුඩා මාග්‍රට් සිටින්නේ මා ඉදිරිපිටය. නිව්ජර්සිවල තිබූ සුන්දර නිවහනේ වූ ඇගේ කුඩා කාමරය උණුසුම්ය. හදිසියේම වටපිට බලා දොර වසාගෙන කාමරය තුළ තනිවන ඈ ෆාමසියෙන් රැගෙන ආ teenage Softies වර්ගයේ පෑඩ් පැකටය දිග හැර ආගන්තුක සතුටකින් හා කුතුහලයකින් යුක්තව එය අඳින්නට වෙර දරයි. ඇගේ මුහුණේ සොඳුරු රේඛා කිහිපයක් ඇඳී මැකී යයි. එය කුහුල හා සන්සිඳීම යන අන්තයෙහි වූ සියුම් රේඛාවකි. මෙය කෙබන්දක් ද? මේ අමුතු ඇඟලුම සිතට හා සිරුරට දැනෙන්නේ කෙබඳු ලෙසද? මගේ යෙහෙළියන් දැන් මේ අවස්ථාවට ප්‍රායෝගිකව මුහුණ දෙයි. ඉදිරි සෘතුව මගේය. එහෙත් ඉවසීම අපහසු කාරණයකි. එබැවින් මම එය තනිව අත්හදා බැලුවෙමි. ඉදිරි වසන්තයේ දී මා තරුණ කෙල්ලක ලෙස විඳිය යුතු සියල්ලම පූර්වව අධ්‍යයනය කළ නොහැකිය. එහෙත් හැකි තරමට සූදානම් වීම නෙව හොඳ....දැන් මාර්ග්‍රට් නින්දට වැටී සිටී. ඉතින්මම අවදි වීමි.
මාග්‍රට් සිය වසන්තයට සූදානම් වූ කාලය ඇමරිකානු සංස්කෘතිය තුළ අද දකින සමාජ හා සංස්කෘතික තත්වයට වඩා බෙහෙවින් වෙනස් වුවත් එය මා වසන්තය බලාපොරොත්තුවෙන් සිටි ලාංකීය කාලපරිච්ජේදයට වඩා තරමක් විවෘත හා නිදහස් බවකින් යුක්ත වීමත්, සිහින හා බලාපොරොත්තු අතරට සංස්කෘතික විකාර හරස් නොවීමත් නිසා මාග්‍රට් මට වඩා වාසනාවන්ත වූවා යයි මම සිතමි. මනුෂ්‍යයා ප්‍රකෘතියෙන්ම සංස්කෘතිය හා බද්ධ වූ විට ඔහුට ඔහුගේ ස්වභාවික ජීවන ව්‍යුහය මග හැරීමෙන් සිදුවන ව්‍යසනය ලාංකීය තරුණියක ලෙස මම විඳ ඇත්තෙමි
මගේ නිදහස් ළමා කාලය වසර දහය පිරෙද්දීම ටිකෙන් ටික ඇහිරෙන්නට පටන් ගත්තේය. අම්මා වැඩිහිටි මාතෘකායයි සීමා කරගත් යම් යම් දේවල් කතා කළේ මට නෑසෙන්නටය. කෙමෙන් තනිව ගමන් බිමන් බොහෝ දුරට ඇහිරී ගියේය. වසර දහතුන පිරුණු පසු හදිසියේ මගේ කේන්දරය බලවාගෙන පැමිණි අම්මා පාසල් හැරී පැමිණී මා දෙස අමුතු සතෙකු දෙස මෙන් බලා සිට එක්වරම හිඳ සිටි අසුනින් නැගිට මගේ කරාබු යුගලය ගලවා දැමුවාය. කුඩා කාලයේ සිට අනවශ්‍ය ලෝහ කැබලි දෙකක් කනේ එල්ලාගෙන සිටීමෙන් දැණුනු ගෝත්‍රික හැඟීම ක්ෂණිකව පහව ගියෙන් එය මට මහත් සැනසීමක් විය. මා එවකට සිටියේ අටේ පංතියේය. මේ කාලයේ දවසින් දවස කරාබු පැළඳීමෙන් තොරව පාසලට පැමිණෙන යුවතියන් ගණන කෙමෙන් සංඛ්‍යාත්මකව වැඩි විය. අරයගෙත් කරාබු ගලවලා.....යෙහෙලියක මගේ කනට කොඳුරයි. මෙසේ අනුන්ගේ කන් විමසමින් සිටි මා මගේ කරාබුව ගැලවූ දවසේ පාසලට ගියේ මඳ ලැජ්ජාවෙනි. නිශ්චිත හේතුවක් නැතත් අම්මා මා මෙසේ පූර්ව සූදානම් කරන්නේ රෙදි නැන්දා ලවා නාවා පංතියටම කේක් බෙදන උත්සවයට මා ආසන්නව සිටි බැවින් යයි මම ස්වයං විනිශ්චයෙන් හා කටකතා වලින් ලද දැනුමෙන් තනිව අවබෝධ කරගෙන සිටියෙමි. කෙස්වැටියෙන් වසා හෝ මගේ දෙකනේ නිරුවත වසා ගැනීමට මම තවදුරටත් අපොහොසත් වීමි. මෙයා ජම්බු ගහෙන් වැටෙන්න ළඟයි....හූ..කෙල්ලන් කළ සරදම්වලින් පසු ගස් බඩ ගෑමේ රුසියකු වූ මම නිවසට යාබද කුඩා වන රොදේ අතරමං වූ අවස්ථාවල උක්ත ගස් වර්ගය උවමනාවෙන්ම මග හැරියෙමි.
මාග්‍රට්ට මෙන් අපටද රහස් සංවිධානයක් විය. නමුත් එයට නමක් තිබුනේ නැත. මා හැරුණු විට තවත් සාමාජිකයන් දෙදෙනෙකි. ඒ ප්‍රදීපා සහ දිස්නාය. අපේ සංගමය රැස්වූයේ ගමේ ඉස්කෝල පිට්ටනියේ විශාල අරලිය ගස මුදුනේය. ලොකු ළමයින් වෙනවා කියා එකක් වෙනවා, ඊට පස්සේ කුඹුරු කොටන අයට වගේ ලේන්සු අඳින්න වෙනවා කියා සිය අක්කාගේ කොටහලු මගුලෙන් පසු තමා උගත් දේ අපට කීවේ ප්‍රදීපාය. මුලින්ම අපි පිරිමියකුගේ නිරුවත දැක්කේ දිස්නා හොරකම් කරගෙන පැමිණි සිය මාමාගේ කාම සඟරාවකිනි. ඒ දෙස බලා සිටි මට මනුෂ්‍ය ශරීරය ස්වභාවික නොවන අමුතු දෙයක් ලෙස දැනී ගියෙන් පුරුෂ ලිංගයක රූපය මුලින් දුටු අවස්ථාවේ අනේ ඒකෙ හැටි යයි කියවුණේ ස්වභාවිකත්වය යටකර සංස්කෘතික රාමුව තදින් මගේ මනසේ කාවැදී තිබුනු නිසා විය හැකිය. ළමයි හම්බවීම සඳහා පිරිමියකු හා නිදා ගත යුතුය යන ඕපාදූපය දිස්නා සොයා ගෙන පැමිණි දින මට ආ ගැටලූව වූයේ නිදා ගැනීමෙන් දරුවන් ලැබෙන්නේ කෙසේද යන්නයි. එය අත්හදා බලන්නට මම තාත්තාගේ ඇඳේ මුල්ලක ගුලිවී දින කිහිපයක් නිදා ගත්තද සිදුවූ දෙයක් නැත.
මම ද මාග්‍රට් මෙන් වසන්තය බලාපොරොත්තුවෙන් සිටියෙමි. තාත්තාගේ අඳුරු මහගෙදරදී අම්මාගේ බ්‍රෙසියරයක් මා හොරෙන් ඇඳ බැලුවේ සියල්ලන් නින්දට ගිය පසු මහ කලුවරේදීය. ලස්සන වන්නටය කියා දෙහි ලෙල්ලක් ඉළුවේද සියල්ලන්ට හොරෙනි. අනෙකක් තබා මුල් වරට මුහුණේ ගාන්නට බේබි ක්‍රීම් බෝතලයක් ගෙන්නා ගත්තේද යාලුවෙක්ගෙ අක්කෙක්ගේ බබෙක් බලන්නට යනවා යයි තඩි බොරුවක් කීමෙන්ය. නැති නම් සත්‍යය හෙලි වූ කල්හි උඹ දැං ගාණට වැඩියි කියමින් අම්මා මා පූර්ණ සිර අඩස්සියේ යොදවා තබන්නීය.
නවය වසරට සමත් වූ අප්‍රේල් නිවාඩුවේ දී මම තරුණියක වූයෙමි. මුල් දවසේ මා හිතුවේ කූඩැල්ලකු කන්නට ඇතැයි කියාය. බිය පත් වූ මා පුවත සැල කළේ තාත්තාටය. සති තුනක සිර අඩස්සියකින් පසු පැවැත්වූ සංස්කෘතික උත්සවයට සිය මුළු කාලය යෙදවූ අම්මා මුල්වරට පෑඩය ඇඳීමට මට සහය පළ කළ නමුදු මට වූ දෙය පිලිබඳ සෘජුව යමක් කීමට අපොහොසත් වූවාය. දැන් ඔයා හොඳට ඉගන ගන්න. ඔයා ලොකුයි කී ඇය මගේ ශිෂ්‍ය වාර්ථා පොතෙහි වැඩි වියට පැමිනියා යනුවෙන් ලියා මගේ අතට දුන්නාය. එකොළහ පංතියේ පතිනායක සර්ගේ විද්‍යා පන්තියේ ප්‍රජනනය පාඩම උගන්නා තෙක් වසන්තය වැළඳ ගැනීම පිළිබඳ මට තිබුණේ කරාබු ගැලවීම, පැළඳීම, ගෙට වීම, උත්සවාකාරයෙන් සැමරීම යන සංස්කෘතික මතක නටබුන් ටිකක් පමණි. නමුත් දෙතිස් හැවිරිදි වියේ සිටින අදද මා තුළ ලිංගිකත්වය හා ගැහැණියක ජෛවීය විවිධතාවන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටළු පවතී. මට එළිපිට නිර්භයව බොහෝ දෑ ලිවිය හැක. නමුත් ප්‍රායෝගිකත්වයේදී මාග්‍රට්ට වඩා මම අවාසනාවන්ත වීමි. අදටත් සිප වැළඳ ගැනීමක් වැනි සරල සිදුවීමක් පවා මතක් වන විට සිරුර දහඩියෙන් පෙඟී යයි. මෙය ඛේදවාචකයක් නොවන්නේද?
ගැහැනියක හෝ පිරිමියකු පළමු කොට හඳුනා ගත යුත්තේ තම සිරුරේ භාෂාවයි. තම ශරීරයේ සිදුවන සුවිශේෂ විපර්යාස මොනවාද? තමා ඊට සූදානම් විය යුත්තේ කෙසේද ? යන්න දැන සිටීමෙන් ඔහු හෝ ඇය වැළඳ ගන්නා වසන්තය අවුල් සහගත නොවේ. දෙවියනි... මාග්‍රට් ගැන කතා කරන්නට ගිය මා අභියසට මගේ වසර දහහතරේ ආත්මය රැගෙන ආවේ කවුරුන්ද? එවක නොඉවසිල්ලෙන් කිති කැවුනු සිතේ තිබූ යෞවන මදය දෙතිස් හැවිරිදි වියේදී යළි සිහිපත් වීම නිසා මගේ මුහුණ ලැජ්ජාවෙන් පිරී ගියේය. ආ..ඉන්න මාග්‍රට්...!
ඇය දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඉතා කුඩා දේවල්ය. කෘතියෙහි මා දකින සුවිශේෂත්වය වන්නේ එය උපදේශ සාහිත්‍යයට ආවේණික වාර්තා ගුණයෙන් ඈත් වී සුන්දර නවකතාවක් වශයෙන් ඉදිරිපත් කරන්නට කතුවරිය දැරූ සුවිශිෂ්ට වෑයමයි. එමෙන්ම සුනම්‍ය භාෂා රටාවක් පවත්වා ගන්නට පරිවර්තිකාව දැරූ වෑයමද ප්‍රශංසනීයය. භාවිත සරල බස් වහර අව්‍යාජත්වයේ කැඩපතක් බඳුය. එයින් කතානායිකාවගේ ආත්මය අභේද්‍යව පිළිබිඹු වෙයි.
එළැඹි වසන්තයේදී ආගමික සංස්ථාව, පවුල පරිසරය ආදී සියල්ල ඈ ග්‍රහණය කර ගන්නේ තමාගේම සම්මතයක් තුළ සිට මිස පැවති සම්මතයක් වන්දනාමාන කිරීමෙන් නොවේ. කැදැල්ල හැර යන්නට පැටවකුට දෙන පෙර පුහුණුව මෙන් ඇගේ අම්මා සහ ආච්චි අම්මා කෙමෙන් ඇයව සමාජ දැනුමෙන් සන්නද්ධ නිදහස් ගැහැනියක කරයි. ඇගේ පළමු චාරිකාවේදී පිරිමියකු අසල වාඩි වන්නට එපා යයි තහනම් නියෝග පනවන නමුත් ක්‍රමානුකූලව ඇය වැඩීමත් සමග නිදහස හිමි වන බව ඇය වටහා ගෙන සිටී. දෙවියන් යනුවෙන් ඈ තුළ සිටින්නේ ඇගේම හෘද සාක්ෂියක ජීවමාන සෙවණැල්ල මිස මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ වෙනත් ආගමක පෙර ගමන්කරුවෙක් නොවේ. ප්ලේ බෝයි සඟරාවේ නිරුවත් ගැහැනියගේ වැඩුනු ලය දකින ඔවුන් ලැම වැඩෙන්න...ලැම වැඩෙන්න ..කියමින් තමාට ආවේනික රටාවකට ව්‍යායාම් වල නිරත වෙයි. මගේ ලැම වැඩෙත්වා...ඔසප් චක්‍රය ආරම්භ වෙත්වා ...මේ ඈ දෙවියන්ගෙන් ඉල්ලන දේවල්ය. ඒ ප්‍රාර්ථනා තම ස්වභාවික ජෛව ක්‍රියාවලිය නිසි පරිදි සිදු වීම හෙවත් තමා ස්වභාවික ගැහැනියකය යන්න තමාට ඒත්තු ගැන්වීම වෙනුවෙනි. නමුත් අපේ මිනිසුන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මොනවාද? අසල්වැසියාට විනයක් කරන ලෙස හෝ තමාට ලෞකික හෝ ලෝකෝත්තර සංකල්පනික සම්පත් ලබාදෙන ලෙසය. එනමුත් මිනිසාට තමාට පිටස්තර යමක් ලබා ගැනීමෙන් ඇති පලක් තිබේද?
මෙම කෘතිය ලියවෙන කාලයේ තිබූ සමාජ පසුබිමට වඩා අද ලෝකයේ මෙන්ම ලංකාවේද තත්වය වෙනස්ය. උපත් පාලන පෙති බී පාසල් යාමට තරම් ලිංගිකත්වය ගැන ප්‍රායෝගික භාවිතාව දියුණුය. එහෙත් අල්ලපු ගෙදර එකා ගැන එළිපිට කතා කරන මිනිසා තමා ගැන විවෘතව කතා කරන්නට අදටත් මැලිය. සමාජීය පරිවර්තනය හා කාලවිපර්යාසය කෙබඳු වුවද ජූඩ් බ්ලූම් ගේ දෙවියනි ඔබ සිටිනවාද? මම මාග්‍රට් නමැති කෘතිය වසන්තයට අත වනන දියණියකගේ ළදරු බව නොමකා ඇගේ පුංචි ලෝකය විචිත්‍රත්වයෙන් සහ අවබෝධයෙන් පුරවා ලීමට සහ ගැටළු සහිත තුරුණු වියක හුදෙකලා නොකොට විචිත්‍රවත් ස්වාධීන ජීවිතයක සිහින උපදවා ලීමට සමත් වෙයි. එහෙත් තම දියණියට කියවන්නට දීමට පෙර පොත උඩින් පල්ලෙන් පෙරළන ඇතැම් මෑණිවරු ලොතරැයි ක්‍රමයට පෙරලෙන ඇතැම් පිටුවලින් දකින පෑඩය, බ්‍රෙෂියරය යන වචන දැක එය තම දුවණියට තහනම් කරන බැව් මට අසන්නට ලැබිණ. වහල් මානසිකත්වයෙන් පෙළෙන දූපතකට මෙම නිර්මාණයේ සුන්දරත්වය කෙතරම් දුරකට වලංගු වනවාදැයි මම නොදන්නෙමි. නමුත් දිගු කාලීන නිද්‍රාවක සිටි මට ලියන්නට සිත් වූයේ මාග්‍රට් තුළින් මෙතුවක් නිදා සිටි මගේ ආත්මයේ සියුම් කණිකාවන් කෙමෙන් විවර වූ නිසාය.
උපේක්ෂා නුවන්ශ්‍රීනි
Comments
Post a Comment